Thursday, December 31, 2015

මංගල යෝජනාව



මගේ පාසල් නිවාඩු කාලය මට කිසිසේත්ම විවේක සුවයෙන් ගතකිරීමට නොහැකි වූයේ වසර 40 පමණ පැරණි අපේ ගෙදර ට ෆුල් රෙපෙයාර් එකක් දෙන්ට පටන් ගැනීම නිසාය.එම නිසා මාසයක් පමණ සයිබරයෙන් ඉවත් වී හිඳින්නටද මට සිදුවිය.


මගේ වන් & ඔන්ලි මස්සිනාගේ කාරුණික අනුග්‍රහය ලැබිච්ච හින්ද අපේ ගෙදර තිබුන සබ්බ සකලමනාවම පියවර දොලහක් එපිටින් තිබුන එයාගේ ගෙදර තැම්පත් කලා.බඩු මුට්ටු පොදි ගහපු කාඩ්බෝඩ් පෙට්ටි පෙරහැරක් සැරන් සැරේ පහල ගෙදරට ගමන් කලා
.

අන්තිමේදී තමයි ගෙදර තිබුන ලීබඩු එකින් එක  කෑලි කරන්ඩ ගත්තේ.නැන්දම්මයි මාමණ්ඩියි සහයෝගයෙන් ගෙයි කොනක තිබුන කැබිනට් එකක් ගලවන්ඩ ගත්තේ මේ අහුඅස්සේ.මං කැන්දන් ඇවිත් දැන් අවුරුදු හතරකටත් වැඩි වෙච්චි එදා මෙදා තුර ඒකට කවුරුවත් අත තබාවත් තිබුනේ නැත.



එක පාරටම එතනින් පැන නැග්ගේ මහා හිනාවක්.පුටු පුටු ග ගා මොන මොනවාදෝ කියවන සද්දෙකුත් ඒ එක්කම ඇහුනා.ඕනෑම ඕපයකට හා කන් දැමීමේ ප්‍රවීනතාවයකින් යුත් මම සියළු වැඩ පැත්තක දාලා එතනට පාදුර්භූත වුනේ ඇහි පිය සැලෙන මොහොකතින්.



අම්මා (සුද්දගේ අම්ම) කෞතුක පෙනුමකින් යුත්ත කහ ගැහුන කොලයක් බලාගෙන කියවන අතර තාත්තා අතර මැදින් ඇඩ් දමයි.අම්මා කියවන වාක්කිය රචනය හිනාව නිසා අතර මැද හිරවෙයි.
සේරම වැඩ අතරමැද දමා මමත් එතනින් තප්පලං ගසා ගතිමි.මා වෙනුවෙන් නිධාන කතාව පවසන්නට තරම් තාත්තා අනුග්‍රහශීලි විය.



පියදාස එකල පවුලේ හිත මිත්තරයෙක් විය.තාත්තලා එකල ජීවත් වූ ගම් පියසක  විසූ හේ  පංසලේ ප්‍රධාන දායකයා විය.භාවනා සමිතියේ  සභාපති විය.පාසැලක ගුරුවරයෙක්ද විය.

මෙසේ දැහැමෙන් සෙමින්  ජීවත් වන අතර ඔහු සෝ සයුරේ ගිල්ලමින් ඔහුගේ හිතාදර බිරිය මිය ගියාය.දරුවන් තිදෙනෙකු සමඟ මෙලොව හුදෙකලා වූ ඔහුට කෙමෙන් කෙමෙන් හුදකලාව දැනෙන්නට විය.මැදිවයසේ    හුන් ඔහුට  යලි විවාහයක් කර දීමට ඥාති හිත මිත්තර කිසිවෙක් උනන්දු නොවුනේ ඉස්මුරුත්තාවටම ආ ධර්මිෂ්ට කම නිසා ජීවිතයේ ඉතිරිය අනගාරිකව සිටීවියැයි උපකල්පනය කල නිසා විය යුතුය.

දිනක් ඔහු සමිතියේ ලේකම් ගේ ගෙදරට ගොඩ වුනේ  දෙපැත්තම පුරවන ලද හාෆ්ෂීට් කොලයක් පරිස්සමට ඔතාගෙනය.

“මේං මේක උඹල සමිතියෙන් දාන විදියට පත්තරේට දාල දියං“


එය ලේකම් -  තාත්තාට දෙමින්  පැවසුවාලු.

කොහොමිං  කොහොමිං හරි එය පත්තරේට නොගිහිං කැබිනට් ලාච්චුවක් පතුලේ නිදං වී ඇත.එදා හමුවන  තුරුම.අළුත් පදිංචියත් සමඟ ඔහු උන්නදැයි මලාදැයි නොදන්නා බව අම්මා  කීයේ දැන් ඔහු විවාහකදැයි මා ඇසූ පුස්නයටය.ඔහුගේ වයස අනුව මේ වන විට ඔහු වැලලූ තැන ගසුත් පැලවී තිබීමට පුළුවන් බවත් දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුම විදේශ ගතවූ බව නං දන්නා බවත් තාත්තා කීය.


මේ ඒ ලිපියයි

යුධ හමුදාවේ මාණ්ඩලික නිලයක් දරා බිරිඳගේ බලවත් ඉල්ලීම පරිදි ඉන් අස්වී ඇත.ඉන් පසු කොළඹ ******* අමාත්‍යාංශයේ විධායක නිලධාරියෙක් ලෙස වසර දෙකක් සේවය කර ඇත.එයිනුත් බිරිඳගේ ඉල්ලීම නිසයි අස්වී තිබෙන්නේ.ඇයට උවමනා වී තිබුනේ තම ස්වාමියා නිවසේම තබාගෙන සිටීමටයි(ඒ ආදරය වැඩි නිසයි)


එසේම ගමේ උදවිය ද මේ මහතාට සලකන්නේ දේවතාවෙකුට ලෙසිනි.මෙතුමා **************** පංසලේ සීල සංවිධානයේ භාවනා උපදේශක නිසා අපිම ඒ මහතා නැති අවස්ථාවක යෝජනා කර ගත්තේ නැවත විවාහයක් කර දීමටයි.


ඔහුට එය ඉදිරිපත් කල විට ඔහු  ආදරය, කරුණාව දයාව හඳුනන නිහඩ ජීවිතයක් ගත කිරීමට යන හර බර වචන ගොඩක් යොදා  කීවේ එහෙම අයෙක් ලැබුනොත්  අකමැත්තක් නැති බවයි.**************** ජාතික පාසලේ විශ්‍රාමලත් විදුහල්පති වන**************** මහතාද මෙතුමාගෙන් උපදෙස් ලබා ගන්නා නිසා ම ඔහුගේ මැදිහත්වීම නිසාම අපි සියළුදෙනා ඉතා අමාරුවෙන් එතුමාව කැමති කරවාගෙනයි මේ ලිපිය ලියන්නේ.

මේ මහකාගේ බිරිඳ විද්‍යා උපාධිදාරි ගුරු මහත්මියක්.ඇය තම ස්වාමියාත් දරුවනුත් සමඟ සෑම පාසල් නිවාඩුවකටම වන්දනා ගමනක් යනවා.තමන්ගේ වාහන වලිනුයි යන්නේ.


මේ මහත්තයයි නෝනයි ඩ්‍රැයිවරුයි දරුවනුයි තමන්ගේ කාර් එකෙන් දින 02ක වන්දනා ගමනක් ගිය අවස්ථාවක අදික රුධිර පීඩනය නිසා නෝනා මියගොස් ඇත. ** ශ්‍රී කාරයක්ද ශ්‍රි ලාන්සර් වර්ගයේ කාරයක්ද ඇත.


ජීවත් වීම සඳහා බැංකු ගිණුම් වල තැන්පත් මුදල් ඇත.රබර ඉඩමක්ද මැලේසියානු රඹුටන් වගාවක්ද (කුඩා කල සිට අල්ලපු ගෙදර විසූ තාත්තා දැක ඇත්තේ නං ගස් 5ක් පමණයිලු) ලක්ෂ 20 පමණ වටිනා දෙමහල් ගොඩනැගිල්ලක්ද(නිවසක්??????) ඇත.අංග සම්පූර්ණ ලක්ෂ ගානක ගෘහ භාණ්ඩද ඇත.






(මෙය අපහාසය තකා නොව හුදෙක් උපහාසය තකා කරන ලද ඉදිරිපත් කිරීමක් වන අතර මිනිසාගේ සිතිවිලි හා ඒවා එලි දක්වන  විෂම ආකාරයන්  පිළිඹද මඳක් සිතා බැලීමට ඔබ යොමු වෙතැයි උදක්ම සිතමි) 

Tuesday, December 29, 2015

වාරයක් හමාර කලෙමි


පසුගිය මාසය පුරාම මට කැලේ පිපුන එක මලක්වත් දකින්ට නොහැකි පට්ට බිසී කාලයක් ගෙවා දැම්මෙමි.විභාග ශාලා ප්‍රශ්න පත්‍ර  ප්‍රගති වාර්තා පෙලපොත් යමර යුද්දය මැද්දට වවුචර් බලඇණියකුත් කඩා පාත් වී තිබීම නිසා අපි හොල්මං වී සිටියෙමු.


නමුත් ප්‍රශ්නපත්‍ර බැලීම ඉතා රසවත් යමක් වුනත් අප ගැන ආත්මානුකම්පාව ඇති කරන දෙයක් විය.ඒ ඇතැම් උත්තර නිසාය.


පලාත් සභාව විසින් සී.ඩී තැටියකට කවා සෑම පාසලකටම ලබා දී තිබුනි.එකිනෙක පාසල් ඒවා මුද්‍රණය කරගත්තේ පාසලට සමීපව ඇති මුද්‍රණ ආයතන මගිනි.ඉතින් පඒවා මගින් ප්‍රශ්නපත්‍ර පිටවීම කෙසේවත් පාලනය කල නොහැකි විය.නගරයේ එක් මුද්‍රණහලකට පැමිණි සිසුවෙක්


 *********පලාත් විභාගයේ ************ පන්තියේ ප්‍රශ්නපත්‍ර කට්ටලය දෙන්නැ“


යි කියමින් මුදල් නෝට්ටු කීපයක් දික් කලේ වෙනත් පාසලක ගුරුවරයෙක් බලා සිටියදීමය.තවද උත්තර පත්‍ර මුද්‍රණය නොකල නිසා අළුත් ගුරුවරුන් වූ අප අපහසු තාවයට පත්ව සිටියදී අසල පාසලක එක් ගුරුවරයෙකු පැවසුවේ


 “************ කඩේ උත්තර පත්තර තිබිල ලමයි අරන් තියනව.ඔයාලත් එතනින්ම ගන්ඩ“


 කියාය.අපි වාර අවසානයේදී අපූරු ලෙස විනිවිද භාවයකින් යුතුව වාර විභාගය පැවැත්වූයේ මෙසේය.
ප්‍රශ්ණ පත්‍ර බැලීමද අතිශය විනෝදකාරී දෙයක් වූයේ එහි පැවති විචිත්‍ර වූ පිලිතුරු නිසාය.
සුපුරුදු ලෙසම අති දක්ෂ යක්ෂ කොළුවෙකු වූ මගේ ගෝලයා(මගේ ගොලයා යනු කවුරුන්ද)
 මගෙන් හෝ ටියුෂන් ගුරුවරයාගෙන් ඉගෙන ගෙන ලකුණු 77ක් ලබා තිබීම මගේ සතුටට හේතුවිය.පටන් ගත් ගැම්මෙන්ම වසර දෙකම ගෙවා දැමුවේ නම් ඔහු නිසැකවම විශ්ව විද්‍යාල වරම් ලැබිය හැකි මට්ටටේ සිටී.


අවසානයේ ගුරුවරුන් වූ අප පිලිතුරු පත් පිළිබඳ බස් එකේ හෝ අහම්බෙන් හමු වී කතා කරමු.එකිනෙක විෂය සම්බන්ධයෙන් දරුවන්ගේ හාස්‍ය ජනක පිලිතුරු කරළියට පැමිනියේ එබඳු අවස්ථාවලදීය.


1.       විෂය - සිංහල

ප්‍රශ්නය - ගුත්තිල කාව්‍ය ලියැවී ඇත්තේ කවර යුගයේද?
පිළිතුර - පද්‍ය 578 කින් යුත් මෙය ලියවී ඇත්තේ එඩේර යුගයේය(දරුවා අසා නැති ප්‍රශ්නයකටද පිලිතුරු දී ඇත.



2.       විෂය - බුද්ධ ධර්මය

ප්‍රශ්ණය - ගැබිණි මවුවරුන්ට අංගුලිමාල පිරිත කියන්නේ ඇයි??
පිලිතුර - අංගුලිමාල ගැබිනි මවුවරුන්ද අත නෑරම ඇඟිලි කැපූ නිසාය.



3.       විෂය - ඉතිහාසය

ප්‍රශ්ණය - මහනුවර යුගයේ අය කරන ලද බදු වර්ග 02ක් ලියන්න
පිලිතුර - මහබද්ද,කුඩා බද්ද

(මහබද්ද යනු යුරෝපීයයන් මෙරට පාලනය කරන සමයේ කුරුඳු එකතු කල දෙපාර්තමේන්තුවයි.උඩරට රාජධානිය මුල්ම පාඩම හෙයින් එය අමතකව අවසන් පාඩමක් වූ ලන්දේසි පාලනය මාතෘකාවේ කරුනක් මෙහිදී යොදා ඇති අතර මහ එකක් ඇති විට කුඩා එකක්ද තිබිය යුතු නිසා කුඩා බද්ද කියා ලියන්නට ඇත

මෙම පන්තියට ඉතිහාසය උගන්වන්නා මා වන අතර දරුවන්ගේ මතකයේ රැදෙන ලෙස පාඩම ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම ගැන මා කණගාටු වුවත් මෙය දුටු විට මගේ මුල්ම ප්‍රතිචාරය හිනාවකි.
කණගාටුව හා ලැජ්ජාව දැනුනේ ඉන් පසුවය.

එවෙලේ මල වදයක් වුවද වාරාවසාන හොඳම විහිළුව වවුචර් පත් බෙදා දීමය.

ඒවා කලාපයට කවදා ලැබුනාදැයි නම් මම නොදනිමි.අපේ ගුරු මහතෙක් 2015/12/04 දින උදේ සිට කලාප කාර්යයාලයයේ ගතකර ඒවා රැගෙන පාසලට පැමිනෙද්දී  යාන්තමි වෙලාව සවස 03ට ආසන්න වූවා පමණි.අප පාසලට වවුචර් ලබාගැනීමට පැමිනෙන ලෙස දුන් දිනය නිවාඩු දෙන දාමය. 

 ඒවා ලද විගස විදුහල්පතිතුමා පංතිබාර ගුරුවරුන් කැටුව පංති කාමරයකට ගොස් ගුරුවරුන්ට ඒවා නිකුත් කරන්නට කටයුතු කරන අතර පංති බාරකාරත්වයක් නැති ගුරුවරු ප්‍රධාන ශාලාවට ගාල්කරන ලද දරුවන් බලා කිය ගැනීමෙහි යෙදුනි.පිරිමි දරුවන් සඳහා වවුචර් පත් දෙකකි.කලිසමට හා කමිසයට වන්නට ඇත.

ඉතින්  පංතිබාර ගුරුවරුන් වූ අප ආකෘති පත්‍රයේද වවුචර් වලද අදාල විස්තර පුරවා දී  දරුවාගෙන් අත්සන් ගත යුතුව ඇත.එකම දරුවාට කලිසමට හා කමිසයට වෙන වෙනම වවුචර් පත් 02ක් දීමේ හේතුවෙ මගේ ටිකිරි මොලයට නොවැටහෙන යම් විශාල හේතුවක්ම විය යුතුමය.එහි ඇත්තේ මුහුනත වටිනාකම පමණක් නම් ඒ වවුචර් වල වටිනාකම් එකතු කොට එකක් දුන්නා නම් කාට කාටත් පහසුවක් නොවේදැයි මට නිකමට සිතුනි.


ආකෘතියේ වවුචර් අංක දමන්නට තීරුවක් තිබුන අතර අප බැලූ බැල්මට දුටුවේ සියළු වවුචර් වල අංකය 1919ය බවය.සවස 04ටවත් පාසලෙන් පිට වීමට වරම් නොලත් නොසංසුන් වූ දුර බැහැර පදිංචි ගුරුවරුන් වූ අප හොල්මං වී ගියෙමු.වවුචරයේ හයිලයිට් කර තිබුනේ එයය.වඩා විමසිලිමත් අයෙක් එය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රෙයේ ඇමතුම් අංකය බව දුටුවිටයි අප සැනසීමක් ලැබුවේ.අනතුරුව වවුචරය නාහේ ලඟටම අල්ලා බැලූ එක් තරුණ ගුරුවරයෙකුට කූඹි කකුල් අකුරින් තිබූ වවුචර් අංකය හමු විය.

6 වසර ඒ පංතියේ සිට පිලිවෙලින් වවුචර් ගුරුවරුන්ට නිකුත් කෙරිනි.ඒ අතර කඩාපාත් වූ හිතුවක්කාර මුරුගසන් වරුසාව නොතකාම අප සිටි පංතියේ  දැල් වල එල්ලුන දරුවෝ බස් එක යන බව කියමින් කණුකුණු ගාමින් අපගේ ඉවසීම පරීක්ෂා කරන්නට විය.අප ප්‍රදේශ වල බස් සේවාවේ උත්කෘෂ්ට බව දන්නෝ දනිති.පාසලේ ගත කරන වේලාවට ආසන්න කාලයක් බසයක් බලාපොරොත්තුවෙන් රැඳුනු දිනයකට පසුව මම බෝඩිං ගත වීමම හොඳ උදාහරණයක් නොවේද?

අපේ පාසලේ  දරුවෝ 350ක් වීමත් එක පංතියක උපරිම දරුවන් 30ක් පමණ වීමත් කොතරම් භාග්‍යක්දැයි මං හිතෙන් විමසුවේ නන්ස්ටොප් ලිවීමෙන් රිදුම් දෙන දකුණු අත පිරිමැද ගන්නා ගමන්මය.එසේම ලබන වර නිවාඩුවට දින 2ක් 3කට කලින් වත් වවුචර් පාසලට ලැවේවායි පතමින්ය.

8 වසර ඒ පංතිබාර මම මගේ‍ දරුවන්ට වවුචර් දී අවසන් කොට සවස 05ට ආසන්න වී යන්තම් පාරට ආවෙමි. 13 වසරේ ගුරුවරයා හා දරුවෝ පාසලින් නික්ම ගිය වෙලාව මම නොදනිමි

ඒ අතර මගේ ලෙඩ පෝන් කටුව බැටරි ලෝ වෙලාය.සුවාමි පුරුසයාත් ගුරුවරයෙක් වුන හින්දාම මට උන සන්තෑසිය අනුමාන කොට හවස 6 සිටම බසයක් එන වෙලාවට පාරට එමින් යමින් හිටියාලු


මගේ ගුරු ජීවිතයේ පළමු වසර ඔයින් මෙයින් හමාර කලෙමි..................